සරසවිය: අපි තාමත් ඉන්නේ ප්‍රේමකීර්තිගේ ලෝකයේ: Sarasaviya e edition - Lake House - Sri Lanka

අපි තාමත් ඉන්නේ ප්‍රේමකීර්තිගේ ලෝකයේ

නිර්මලා අල්විස්
මතකයට නඟන ප්‍රේමකීර්ති පිළිබඳ අතීතය

සිහිල් සුළං හමා යන සීතල උදෑසන දොන් අමරාදි ගුණතිලක සිටියේ අසීමිත සතුටකිනි. ඒ තම දෙවැනි දරුවා ප්‍රසූත කිරීමට දින ළංවන නිසාය. මේ 1947 වසරේ ජූනි මස තුන් වැනි දිනය. ද සොයිසා රෝහලට ඇතුළත් කළ අමරාදි ගුණතිලක දරුවා ප්‍රසූත කරන තුරු සයිමන් ද අල්විස් රෝහලේ කොරිඩෝව මත රැඳී සිටියේය. අමරාදිගේ කුසින් එදින එළිය දුටුවේ පුත් රුවනකි. ඔහුගේ වේලාපත්කඩය බැලූ දෛවඥයින් කියා සිටියේ ඔහු මෙරට බබළවන පුද්ගලයෙකු වන බවයි.

වයසින් වැඩෙත්ම මේ දරුවා මාලිගාකන්ද විද්‍යාලයට මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් කෙරිණි. අනතුරුව ද්විතික අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ද ඇතුළත් විය. වයස අවුරුදු දොළහ පමණ වන විට ළමා පිටියේ ගායකයෙක් ලෙස ගුවන් විදුලියට පා තැබීය. එදින ගුවන් විදුලියට ගිය ඔහුගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානය ගුවන් විදුලිය බවට පත් වේ යැයි ඔහු ද නොසිතන්නට ඇත.

ගුවන් විදුලියෙන් ගීත රචනා කලාව මෙන්ම නිවේදනය ද ප්‍රගුණ කළ ඔහු මෙරට සම්භාවනාවට පාත්‍ර වූ නිවේදකයකු මෙන්ම ගී පද රචකයකු ද විය. හේ ප්‍රේමකීර්ති ද අල්විස්ය.

මීට වසර විසි පහකට පෙර රුදුරු නොමිනිසුන්ගේ අකාරුණික වෙඩි පහරකට ගොදුරුව අකාලයේ මිලින වූ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ප්‍රතිභාපූර්ණ මිනිසා පිළිබඳ මතකාවර්ජනයට මෙවර පිය සටහන් වෙන් වෙයි.

ප්‍රේමකීර්ති ද අල්විස් වඩාත්ම ආදරය කළ නිර්මලා ද අල්විස් ඔහු ගැන අතීත තොරතුරු මෙසේ සරසවිය වෙත හෙළි කළාය.

‘මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ දෙල්කඳ. එතන ඉඳන් මම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා. ඔය කාලේ මගේ කාමරයට එහා නිවෙස කුලිය ගෙන සිටියේ ප්‍රේමකීර්ති. ඒ බව මම දැනගෙන හිටියේ නැහැ.

පසු කාලෙක මම එයා කවුද කියලා දැනගත්තා. නමුත් මම ඒ බව ඇඟ වූයේ නැහැ. මොකද මම ටිකක් අහංකාර චරිතයක් ඒ දවස්වල.

එසේ පැවසූ නිර්මලා බිම බලාගෙන ඉකි බිඳින්නට වූවාය. මඳ වේලාවකින් හිස එස වූ නිර්මලා නැවතත් අතීත ස්මරණ අතර තනි වූවාය.

දෙල්කඳ ෆ්ලැට්වල මගේ කාමරයට එහා කාමරේ එයා නැවතිලා හිටියේ. එයා මානසිකව පීඩා විඳින බවත් මට හැඟී තිබුණා. නමුත් ඒක මම පෙන්නන්න ගියේ නැහැ. ඒ වෙනකොට එයා ප්‍රථම කසාදයෙන් ඉවත් වෙලයි හිටියේ.

දවසක් ප්‍රේමකීර්ති අයියා මගේ කාමරය ළඟින් යන ගමන් කිව්වා නංගී මේ ඔයාට ලියුමක් ඇවිල්ල තියෙනවා කියලා. මම හෙමින් ගිහින් අරන් බැලුවා. ඒ ආදර හසුනක් ඒක එයා ලියලා තියෙන්නේ. හරිම කවීත්වයෙන් ලියලා තිබුණේ. නමුත් මම ඒ ලිපිය බලලා හොඳටම ඇඬුවා. මොකද මම ඒ වෙනකොට කිසිම පිරිමි කෙනෙක්ගෙන් ආදරය ලබලා නැහැ.

නිර්මලා රණතුංග, ලක්ෂ්මන් ආදී බොහෝ දෙනෙක් මගේ හිත හදලා කොහොම හරි මේ සම්බන්ධයට කැමැත්ත අරන් දුන්නා.

ප්‍රේමකීර්තිව කසඳ බඳින දවසේ මම මගේ දින පොතේ ලිව්වා ‘බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිරේ ගියා’ කියලා.

කොහොම හරි කසාද ජීවිතේ ගලාගෙන ගියා. ප්‍රේමකීර්ති කවදාවත් මට උයන්න දීලා නැහැ. එයා තමයි උයන්නේ. එයා හරිම කැමැත්තෙන් කෑම උයනවා.

ඒ කෑමවල රහ බලලා හොඳයි කිව්වාම එයා ඒ තුළින් පුදුමාකාර සතුටක් ලබනවා. එයා මිනිස්සුන්ට පුදුමාකාර විදියට ගරු කරනවා. ඒ වගේම අති සංවේදී පුද්ගලයෙක්. ඒ වගේම එයා නීතිගරුක පුද්ගලයෙක්. එයාගේ හැඟීම් එයා පද බවට පෙරළලා ඒවා ගීත බවට පත් කළා. ඒ තරම් ප්‍රතිභාවක් එයාට තිබුණා. ඒ වගේම විනීදකාමියි. එයා කාගෙවත් අණ නොතකා තමන්ගේ රාජකාරිය හරියටම කළා. එක එක පාර්ශවයන්ගෙන් විවිධ බලපෑම් තිබුණා. මරණ තර්ජන පවා තිබුණා. නමුත් එයා රාජකාරිය අකුරටම ඉටු කළා.

1989 ජූනි තුන් වැනිදා එයාගේ උපන් දිනය සැමරුවේ අපේ පුංචි පුතාගේ ඉපදීමත් එක්ක. එයා පූර්ණ. එයා ඉපදිලා හරියටම මාස ගණනයි ගත වෙලා තිබුණේ. ප්‍රේමකීර්ති පුතාට අසීමිතව ආදරය කළා.

හරියටම 1989 ජූලි මාසේ 31 වැනිදා. එයාව ගෙදරට ආපු කට්ටියක් පොඩි කතාවක් කරන්න තියෙනවා කියලා ගෙදරින් එළියට අරගෙන ගියා. ඒ ගියා ගියාමයි ආයේ මට දැකගන්න ලැබුණේ ජීවමාන ප්‍රේමකීර්ති නෙමේ. කාටවත් වරදක් හිංසාවක් වචනයකින්වත් නොකළ ප්‍රේමකීර්තිව අර තරම් කෲර විදියට වෙඩි තියලා මැරුවේ ඇයි? අදටත් මම ජීවත් වෙන්නේ ප්‍රේමකීර්තිගේ ලෝකේ. එයා වෙනුවෙන් මමයි පූර්ණයි විශාල වැඩ කටයුතු රාශියක් කරගෙන යනවා.

නමුත් ප්‍රේමකීර්ති වියෝ වුණ දවසේ ඉඳන් උදව් කළ අය වගේම අපි අනන්තවත් අසරණ කළ මිනිස්සුත් සිටියා.

වික්ටර් රත්නායක මහත්මයා ඇතුළු බොහෝ පිරිසක් මට අත දුන්නා. ප්‍රේමකීර්ති වෙනුවෙන් මට ගුවන් විදුලි සංස්ථාවේ රැකියාවක් ලැබුණා.

මටයි, පූර්ණටයි ප්‍රේමකීර්ති නැති වුණාට පස්සේ අනේක විධ දුක් පීඩා විඳින්න වුණා. කොහොම වුණත් අදටත් මමයි පුතයි ජීවත් වෙන්නේ ප්‍රේමකීර්ති නිසාමයි.

අද 31 හරියටම එයා අප අතහැර ගිහිල්ලා අවුරුදු 25 ක් ගත වෙනවා. නමුත් මට මේ අද ඊයේ ඒ දේ සිද්ධ වුණා වගෙයි දැනෙන්නේ. ජීවිතේ ලස්සනම හරිය ගෙවෙන කොටයි මට ප්‍රේමකීර්ති අහිමි වුණේ. ඒ්ක මට විශාල කම්පනයක් වුණා.

එයා වෙනුවෙන් මම මේ දිනවල විවිධ සමාජ සත්කාර වැඩසටහන් රාශියක් සිදු කරනවා. කොහොම වුණත් ප්‍රේමකීර්ති වෙනුවෙන් ගුවන් විදුලිය ඉදිරිපිට පාර නම් කිරීම නම් මට නිම්හිම් නැති සතුටක් ගෙන ආවා.

අපේ ජීවිතවලට මහා රූස්ස ගහක් වුණ ප්‍රේමකීර්ති මේ රටේ ජනතාවටත් දැනුම ලබා දුන් ඇවිදින පුස්තකාලයක් වුණා. එයා වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම මම සහ පූර්ණ මේ සමාජයට කරනවා. මේ සමාජ සත්කාරවලට ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්නත් පුලුවන්. 0714531673 ට ඕනෑම කෙනෙකුට කතා කළ හැකියි.

සිහින් කඳුළක් නෙතින් ගලා ගිය ද තවමත් ඇය ප්‍රේමකීර්ති වෙනුවෙන් ඇගේ යුතුකම් ඉටු කරන්නීය.

ප්‍රේමකීර්ති මාවත ජනපති අතින් අද නම් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අසල ඇති මාවත අද (31) පෙරවරු 9.00ට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් “ප්‍රේමකීර්ති ද අල්විස් මාවත” යනුවෙන් නම් කෙරේ.

ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම විද්‍යුත් මාධ්‍ය සන්නිවේදකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාණන් දැයෙන් සමුගෙන විසිපස් වසරක් ගතවීම අනුස්මරණය කිරීම නිමිත්තෙන් ප්‍රේමකීර්ති ගුණ සමරු සංසදය විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු කෙරෙන අතර සම්භාවනීය ආරාධිතයන් සහ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.