Adaraye Ulpatha wu amma
ආදරයේ උල්පත වූ අම්මා..
Music :   Victor rathnayake
Singer :   Victor rathnayake
70 දශකයේ මුල් භාගයේ දිනෙක ගුවන්විදුලි සංස්ථාවේදී ප්‍රේමකීර්ති මුණගැසුනා මට අද මෙන් මතකය. ප්‍රේම් දුක්මුසුව මට කීවේ ඔහුගේ අම්මා කොළඹ මහ රෝහලේ සැත්කමක් සඳහා රෝහල් ගතකර ඇති බවයි. “අම්මා බලන්න මම යනවා...උඹ ආවොත් අපේ අම්මා හුඟාක් සතුටු වෙයි” මා එක වරම කීවේ “ඔව්... අම්මා බලන්න අපි යමු” කියායි.
අම්මාගේ ඇඳ ළඟට ගිය සැණින් ප්‍රේමකීර්ති අම්මාට මාව හදුන්වා දුන්නේ “අම්මේ... අර දෙව්රම් වෙහෙරේ සින්දුව කියන්නේ.... ඒ මේ වික්ටර් ” කියලයි. එසැනින් ප්‍රේම්ගේ අම්මා මගේ අතින් අල්ලාගෙන “මොන තරම් ලස්සනට ඒ ගීතය කියනවද පුතේ” කියල මගේ මූණ දිහා බලාගෙන හිටියා. ප්‍රේම්ගේ මව මා මුලින් හදුනාගත්තේද එදිනයි. මවගේ සුවදුක් බලා අපි බසයක නැගී ආපසු ගුවන් විදුලිය වෙත ආවා මතකයි. ඒ එන ගමනේදී මා ප්‍රේම් ට කීවේ, මගේ සරළ ගී ප්‍රසංගය සඳහා ගීතයක් ලියන්නට ඔබට මානසික සුවයක් තියෙනවාද, එහෙමනම් මට ගීතයක් ලියලා දෙන්න කියලයි. “ඔව්... මම ගීතයක් ලියන්නට උත්සාහ කරන්නම්...” ප්‍රේම් කිවුවාත් මතකයි.
ඉන් දින තුනකට පමණ පසු ප්‍රේම් මා අතට පත් කළ ගේයපද රචනාව “ආදරයේ උල්පත වූ අම්මා” නම් මව්‍ සෙනෙහස ඉතා සංවේදීව විඳගත හැකි ඒ ගේයපද රචනාවයි.
මවක් රෝගාතුර වූ කල පුතෙකුට ඇතිවන කම්පනය කෙතෙක්දැයි එම පද මාලාව දුටු සැණින් මටද දැනෙන්නට විය. සෙනෙහස, කරුණාව, දයාව, ආදරය යන සංවේදී ගුණ එම පදවැලෙන් ලබා ගත් මවිසින් එම ගීයට තනුව නිර්මාණය කලා කීවොත් මා නිවැරදි යැයි මට හැඟෙ......
වික්ටර් රත්නායකයන්ගේ Face Book පිටුවෙන් උපුටා ගන්නා ලදී.

ආදරයේ උල්පත වූ අම්මා.....

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ........ඔබ මතු බුදුවන දවසේ....
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී.....

සඳ දියකොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා....
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා.....

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිඳි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් 
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැදී
ගෙන දී දිවියට නව පණ ලැබදී
මා දැඩි කළ අම්මා....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   Victor rathnayake
Singer :   Victor rathnayake