Thani tharuwe
තනි තරුවේ
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක

“මට මතකයි 1975 දී විතර ,ජෙනරාල් සුනිල් තෙන්නකෝන් ත්‍රිකුනාමලයේ සිටියදී සංවිධානය කළා ”ස” ප්‍රසංගයක්. ප්‍රසංගය පැවැත්වුයේ ත්‍රිකුණාමල සිංහල මහා විද්‍යාලයීය ශාලාවේයි. ඒ ගමනට ආනන්ද බස්නායක, ප්‍රේමකීර්ති, විජිත බස්නායක, තිස්ස මුණසිංහ, නලීන් මුණසිංහ වැනි අය සහභාගී වුණා.

එදා ත්‍රිකුණාමලේ දර්ශන වාර දෙකක් තිබුණා. සියළු වැඩ කටයුතු අහවර වී ජෙනරාල් සුනිල් තෙන්නකෝන් මහතා අපව රාත්‍රී ආහාර ගැනීම සඳහා කෙසෙල් තුඩුව(PLANTAIN POINT) යුධ හමුදා කඳවුරට කැඳවාගෙන ආවා. අපට මුහුදු වෙරළේ ගල් තලාවක මධු සාදයක් සූදානම් කොට තිබුණා. මුහුදු වෙරළට එදා හොඳට හඳ පායලා තිබුණා. අපි සියල්ලෝම ඒ හඳ එළිය යට මධුවිත තොල ගාන අතරතුරේදී ප්‍රේමකීර්ති විතරක් පේන්න හිටියේ නැහැ. හිටි හැටියේම කවුදෝ “තනිතරුවේ.....” කියලා මහ හඬින් කෑ දෙන සද්දයක් ඇහෙන්නට වුණා. අපි කට්ටිය ඉක්මනට ඒ පැත්තට දිවුවා. එතැනදී අපිට දකින්න ලැබුනේ කඳවුරේ කොන්ක්‍රීට් ලෑල්ලක් මත දිගා වී ඈත අහසේ පායා තිබූ තරුවක් දෙස බලාගෙන “තනිතරුවේ” කියමින් කෑ ගසමින් සිටි ප්‍රේම්වයි. අපව දුටු ප්‍රේම් “මචං.. ඉක්මනට කොලේකුයි පෑනකුයි අරන් වරෙන්....” කීවා මතකයි. අප අතර සිටි විජිත බස්නායක ඉක්මණින් කොලයක් සහ පෑනක් අරගෙන දිව ආවා. ප්‍රේම් නැවත තරුව දෙස ඇස යොමා ......

තනි තරුවේ... තනි තරුවේ....
ඔබත් ඔහොම ඔතන ඉන්න...
මමත් මෙහෙම මෙතන ඉන්නවා....”

යනුවෙන් කෑගසන්නට වුණා. කවුදෝ අප අතර සිටි අයකු දැල්වූ ලයිටරයක ආලෝකයෙන්, විජිත වහ වහා ප්‍රේම් කියූ සියල්ල කොළ කෑල්ලක සටහන් කරගත්තා. ඒ තමයි තනිතරුවේ ගීතයේ මූලාරම්භය.

වික්ටර් රත්නායකයන්ගේ Face Book පිටුවෙන් උපුටා ගන්නා ලදී.

තනි තරුවේ...

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.....

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවග මුවග ඇළැලි ඇළැලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ....

මහද අරණ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක