ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත...



සුරංගීට දුක සිතුනේ බොහොමත් කාලයකට පෙරය. ඇගේ දුකට ගැලු කඳුළු ගංගාවක් දිගේ මහ මුහුදට ගලා ගොස් මුතු බෙල්ලෙකු කුසයේ රැදුනි. කල් ඇවෑමෙන් ඒ කඳුළු මුතු විය. ඒ මුතු කන්වල පැළඳ සිටින මුත් සුරංගී තවමත් දුකිනි . මේ සුරංගී, සුරංගී ද අල්විස්ය. කඳුළු මුතු බවට පත්කළ ඇගේ පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇයට අහිමිව ගොස් අදට වසර විසිපහකි. "අම්මා කියන විදියට මේ ගීතය ලියලා තියෙන්නේ මං වෙනුවෙන්. ඒ අවදියේදී මගේ කන විදලා තිබිලා නැහැ. මට මතකයක් නැතත් කරනවා ඔහු ඉදිරියට සිදුවන්නට තිබෙන සිදුවීමක් ගැන මවා ගනිමින් මේ සින්දුව ලියන්නට ඇති කියලා," සුරංගී තම නැසී ගිය පියාගේ මතකයන් අවදි කළාය.


සමරවීරගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නේ 1947 ජුනි 3 වනදා කොළඹදීය. ඔහුගේ පියා සයිමන් ද අල්විස් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වූ අතර කොළඹ මාලිගාකන්දේ පදිංචිව සිටි ඔහු ප්‍රථමික අධ්‍යාපනය මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් හදාරා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. ආනන්දයේ දීප්තිමත් සිසුවෙකු වූ ප්‍රේමකීර්ති, ආනන්දය නම් පාසල් පුවත් පතෙන් සිය දස්කම් විදහා දක්වන්නට විය. 1961 වසරේදී ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකර මහතා මෙහෙය වූ ළමා වැඩසටහනකට සම්බන්ධ වුනු ඔහු 1967 වන විට එහි නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන්නට විය. 1971 වන විට ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ නිත්‍ය සේවකයෙකි.1989 දී ඝාතනයට ලක්වන විට ඔහු ප්‍රතිභාපුර්ණ නිවේදකයෙකු, කථිකයකු, කවියෙකු මෙන්ම ගීත රචකයකු ලෙස මහජන ප්‍රසාදයට ලක්ව සිටියේය. ඔහුගේ වියෝවෙන් වසර 25කට පසු තවමත් ඔහුගේ නිර්මාණ නිබඳවම පැසසුමට ලක්වීමම ඔහු කෙරේ ජනතාව තුල තිබුණු ප්‍රසාදය මොනවට පෙන්නුම් කරයි.

ඔහුගේ දියණිය සුරංගි, පියා ගැන කරත්ම පැවසුවේ තමන් සහ තම පියා ශාරීරිකව එකිනෙකාගෙන් දුරස්ථව සිටියද කිට්ටු මානසික බැඳීමක් තිබුණු බවයි. "මට මතක ඇති කාලයේ ඉඳන්ම මගේ අම්මයි තාත්තයි එකිනෙකාගෙන් වෙන්වෙලයි ජීවත් වුණේ. තාත්තාව මට මතකයට නැගෙන්නේ මාව නිතර බලන්න ආවගිය ආගන්තුකයෙක් වගෙයි. ඒ වගේ ආව ගිය අවස්ථා වලදී සිදුවුණු සිදුවීම් කීපයක් ඇරෙන්න මට තාත්තා පිලිබඳ ලොකු මතකයක් නැහැ. ඒ වගේ අවස්ථාවල මාව එලියට එක්කගෙන යනවා. ගෝල්ෆේස් වගේ තාත්තා ආස කරන තැන කිහිපයක් තිබ්බා. මේ තැන්වලට එක්කරගෙන ගියහම තාත්තා නිකම් හිටියේ නැහැ. ඒ තැන පිලිබඳ විස්තර කතා රාශියක් කියනවා.ඉන් පස්සේ ආපහු ඇවිත් මාව ගෙදරින් බස්සවලා යනවා."

ප්‍රේමකීර්ති ඝාතනයට ලක්වන විට සුරංගීට වයස 16කි. "මම සාමාන්‍ය පෙළ පන්තියේ හිටියේ. ජීවිත තර්ජන තිබුණු බව මම දැනගෙන හිටියා. මට මතකයි තර්ජනය කරලා එවපු ලියුම් අම්මාට පෙන්නවා. නමුත් ඔහු බයෙන් හිටියේ නෑ . කවුරුහරි ඇවිත් තමන්ට කරදරයක් කරන්න උත්සහ කලොත් එක කතා කරලා විසඳගන්න තමන්ට හැකියාව තියෙනවා කියල ඔහු විස්වාස කළා. කතා කරලා මිනිස්සු තමන් නම්ම ගන්න තාත්තිට අපුරු හැකියාවක් තිබුණා," ඇය පවසන ආකාරයට බොහෝ ගුවන්විදුලි සේවකයන්ට මෙන්ම ප්‍රේමකීර්තිටද භීෂණ සමයේ නිරන්තර මරණ තර්ජන එල්ල වී ඇත. "මේ ගැන කියනකොට තව දෙයක් සඳහන් කරන්න ඕනේ. දෙන්නෙක් දික්කසාද වුනාම ඒ දෙපල එකිනෙකා එක්ක වෛරයෙන් ඉන්නවා කියලයි ලෝකයා හිතාගෙන ඉන්නේ. නමුත් මගේ අම්මයි තාත්තයි එකිනෙකාට සුහදව හිටියා. තාත්ති නැවත විවාහයක් කලින් මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා ඒ දෙදෙනා නැවතත් එකතු වේවි කියලා. මම කුඩා කාලයේදී ඒ ගැන හීන මැව්වා," ඇය තම කුඩා කාලයේ බිඳවැටුණු බලාපොරොත්තුවක් ගැනද සඳහන් කළාය.

ඝාතනය කරන්නට පළමු දිනයේද ප්‍රේමකීර්ති සුරංගී දැක බලා යන්නට ඇවිත් ගොස් තිබිණි. "30 වෙනිදා උදෙත් තාත්ති අපේ ගෙදර ආවා. ඒ හිටියේ හෝමාගම. ඔහු හිටියේ මහරගම. ඒ දවස් වල කලබල නිසා කොහොමත් ඉස්කෝල වහලයි තිබ්බේ. එදා මගේ සුරතල් බල්ලට අසනීපෙන් හිටියේ. තාත්තා බලලා හවසට ඌට බෙහෙත් අරන්දෙන්න එන පොරොන්දුව පිටයි එයා ගෙදරින් ගියේ. හැබැයි එදා ඒ ආව ගමනේ තාත්ත ලොකු කල්පනාවක හිටපු බව මට තේරුණා. කල්පනාවක ඉදන් කතා කරන බව මට දැනුනා. වෙනදාට ගෙදරින් යනකොට වාහනේ රිවර්ස් කරලා මට ඇත අත වනනවා. එදා තාත්තාට එකත් අමතක වුනා."

ප්‍රේමකීර්ති ඝාතනයට කලකට පෙර ලියා පල කල කවියක් ඔහු තම අනාගතය පිලිබඳ දැන සිටියාදැයි සිතෙන තරමට ඔහුගේ ජීවිත අවසානයට සමානකමක් දක්වයි. කවියේ මුල් පද වලින් කියවෙන්නේ කලාතුරකින් දියණිය බලන්නට එන තාත්තා කෙනෙකුන් ගැනය. එසේ කලාතුරකින් එන තාත්තාට දීමට දාස්පෙතියා මල් ටිකක් දියණිය කල් තියා අරන් තියාගෙන සිටියාය. කලකට පසු ආ තාත්තාට ආදරයෙන් දුන් මල් ඔහු තම සාක්කුවේ හොවාගෙන ආපහු යයි.

දාස් පෙති මල්
...
එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කලුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ. ඔහුගේ
මුදල් පැහැරගන්නට තැත් කළහ. බැරිම
තැන ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ළය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත
ඔහුට කුමක්වී දැයි කිසිවෙක් නොදත්හ
පාලු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබුණි.

කවියේ සඳහන් දියණිය පරිද්දෙන් සුරංගී ද තම පියා සුරතලාට බෙහෙත් රැගෙන එන තුරු බලා ඉන්නට ඇත. "තාත්තාගේ ඝාතනය ගැන අපිට ආරංචිය අරගෙන ආවේ වික්ටර් අංකල්. මම නිදාගෙනයි හිටියේ. අම්ම කෑගහන සද්දෙට මට ඇදෙන් බැස්සුනා. එත් එක්කම මට තේරුණා සිද්දවෙලා ඇත්තේ මොකක්ද කියල. ඒ යුගයේ අපි කොහොමත් ඔය වගේ ආරංචි ගැන බයෙන් හිටියේ. කොහොමටත් මුසල කාල වකවානුවක්. එතනින් එහාට වුනු දේවල් පිළිබඳව මට පැහැදිලිව මතක නැහැ. මතකයට නඟා ගන්නත් බැහැ."

තම පියාගේ නිර්මාණ කටයුතු පිළිබඳව ගැඹුරින් කතා කරන්නට අසමත් වුවත් පියෙකුගෙන් දියණියකට ලැබුණු වටිනා ඔවදන් කීපයක් පිළිබඳව ඇය මතකය අවදි කළාය."ඉස්සර මම පුංචිම කාලේ, හැමදාම එනකොට තාත්තා පොතක් අරන් එනවා. ඒ ගෙනාපු හැම පොතකම මොනවා ලියලා දීලා යනවා යටින් තාත්තා කියලා අත්සන් කරලා. මට ඒ දවස් වල අකුරු කියවල තේරුම් ගන්න බැහැ. කියවන්න පුළුවන් වෙනකොට තමයි තේරුනේ ඒ ලියල දීපු දේවල් කොයි තරම් .ලස්සනද කියලා. එකක ලියල තියනවා 'ඔබ යුවතියක් වන දිනෙක මම පස් ගොඩක් පමණි. ඒ පස් ගොඩ පාගන්න දුවේ...' කියලා."

"මම ඒ දවස්වල හරි අසයි පූස් පැටවුන්ට. තාත්ති මේ ගැන හොඳින් දැන ගෙන හිටියා. ඉතින් මට ගෙන පොත් ඒ වගේ පින්තුර තියන පොත්. මෙයින් එක පොතක පින්තුරේක තිබුනා පූස් පැටියෙක් කොස්සක් එක්ක සෙල්ලම් කරන රූපයක්. ඒ යටින් තාත්තා ලියා තියෙනවා 'හිතවතුන් අතුගාන්න එපා දුවේ' කියලා. පුංචි කාලේ මම හිතුවේ තාත්තා මට පූසන්ට කරදර කරන්නට එපා කියලා ලියා තියෙනවා කියලයි," තම පියාගේ වදන් වල ගැඹුරු අර්ථය වඩාත් හොඳින් තේරුම් ගන්නට තමන්ට හැකිවුයේ තමන් තරුණ වියට පත් වූවාටත් පසුව යයි ඇය පවසන්නීය. "මේ තෑගි දුන්නු පොත් තවමත් සුරැකිව තියනවා. මේවා තවමත් මගේ භාරයට පත්වෙලා නෑ . තවමත් මේවා පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නේ අම්මා."

සමහර විට මේ ලියපු දේවල් නැවත කියවන විට තාත්තා කොතරම් සංවේදී මනුස්සයෙක්ද බව තේරෙනවා.සමහරක් විටක මට හිතෙනවා ඔහුට ඉදිරියේ සිදුවීමට ඇති දේ පිළිබඳව දැනීමක් තිබුනාදෝ කියල. කොහොම වුනත් තවමත් තාත්තට ගරු කරනවා. ආදරය කරනවා. තවමත් ඔහු නිසා අපිට සැලකිලි ලැබෙන වෙලාවල් තියනවා. මේ වගේ තාත්තගේ දුව වීම පිළිබඳව නිහතමානි ආඩම්බරයක් තියනවා. නමුත් මම අද වනතුරු ඒ ආඩම්බරය මගේ වාසියට අරගෙන නැහැ. ඒ නමට කැළලක් වෙන විදියට නොහැසිරෙන්නයි මම උත්සහ කරන්නේ," සුරංගී කතා බහ අවසන් කරමින් පැවසුවාය.

ප්‍රේමකීර්ති 21 වන ගුණ සමරුව අළලා සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකට සුරංගී මෙසේ ලියා තිබුණි.

හිස මුදුනත තැබූ රුවන් මලක් සේ
රැකගමි ඔබෙ නම පියාණනේ
නොකෙළෙමි වරදක් නොතබමි කැළලක්
එය මට කිරුළකි පියාණනේ
පිරිහෙන ගුණ දම් නසතිය මනු දම්
උගතිමි ඔබගෙන් පියාණනේ
ඔබ මට හිමි කළ බැබළෙන ඒ නම
මගෙ දරු සුරකිති පියාණනේ

~සුරංගි ද අල්විස්